
මුස්ලිම් ජාතික පවුලක උපත ලැබූ මරීනාට අනුව තම ආර්ථික අග හිඟකම් පිළිබඳව ඇඟළුම් කම්හලේ මිතුරියකට පැවැසූ විට ඇය විසින් මරීනාව ලිංගික ශ්‍රමය අලෙවි කිරීමට යොමුකර ඇත්තේ දකුණු පළාතේ පිහිටි නිවසක පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වෙතයි. 'දිවයින ඉරිදා සංග්‍රහයෙහි පළවන අබිසරුලියකගේ අතීත ජීවිත කථාව විශේෂාංගයට සිය ජීවිත කථාව පැවැසීම සඳහා පැමිණි මරීනා මෙසේ අප හා දොඩමළු වූවාය.
"මගේ පවුලේ මාත් එක්‌ක සහෝදර සහෝදරියන් තුන් දෙනයි. මම පවුලේ බාලයා. අම්මා රැකියාවක් කළේ නැහැ. තාත්තා කම්හලක වැඩ කළා. අපි පදිංචිව හිටියේ කොළඹ නගරයේ නිවසක. තාත්තා රැකියාවක් කළත් ආර්ථික අගහිඟකම් පවුලේ තිබුණා. අපිව පාසල් යවන්න තාත්තා තැන් කිහිපයකින්ම ණය අරගෙන තිබුණ නිසයි ඒ අගහිඟකම් ආවේ...."
කෙසේ හෝ ආර්ථික අගහිඟකම් මැද වුවද මරීනාත් ඇයගේ වැඩිමහල් සහෝදරයා හා සහෝදරිය පාසල් යෑවීමට දෙමව්පියෝ කටයුතු කර තිබිණි. මරීනාගේ පියා විසින් ලබා ගෙන තිබූ ණය සඳහා ගෙවිය යුතු පොලී මුදල ද ඉහළ යැම හේතුවෙන් ණය බරින් මිදීම සඳහා අවශ්‍ය මුදල් උපයා ගැනීමට මරීනාගේ මව මැදපෙරදිග ගෘහ සේවිකාවක වශයෙන් සේවය කිරීමට යැමට අදිටන් කර ගත්තාය.
ඒ අනුව ඇය මැදපෙරදිග රැකියාවට යැමට පෙර මරීනාව කොළඹ ඇය ඉගෙනුම ලැබූ පාසලෙන් ඉවත්කර ගෙන දකුණේ පදිංචිව සිටි තම බාල සොයුරිය වෙත යවා එහි පාසලක ඉගෙන ගැනීමට සැලැස්‌වීම මවගේ අරමුණ විය.
කොළඹ පාසලක 8 වැනි ශ්‍රේණියෙහි ඉගෙනුම ලබමින් සිටි මරීනාව ඒ අනුව පාසලෙන් ඉවත් කරගෙන දකුණු පළාතේ පදිංචිව සිටි ඇයගේ පුංචි අම්වා වෙත යෑවිණි.
මව මැදපෙරදිග ගිය පසු පුංචි අම්මාගේ නිවසෙහි රැඳී සිටි මරීනාට බලාපොරොත්තු වූ අයුරින් පාසල් යැමට ඉඩක් නොලැබුණු අතර ඇයගේ පුංචි අම්මා ඒ සඳහා උනන්දු නොවීම එයට හේතුව විය.
"පුංචි අම්මා එයාගේ ළමයි පාසල් ඇරියා. ඒත් මාව පාසල් යවන්න එයා මවට පොරොන්දු වෙලා තිබ්බත් එහෙම කළේ නැහැ.... එයාට ඕන වුණේ සල්ලි.... ඒ නිසාම මාව නිවසට මඳක් දුරින් තිබුණු ඇඟළුම් කම්හලක රැකියාවකට යවන්න සැලැස්‌සුවා...."
මරීනා ඇඟළුම් කම්හලෙහි සේවයට යනවිට ඇයගේ වයස අවුරුදු 16 ක් විය. එහිදි ඇයට ලැබුණු මාසික වැටුප වූයේ රුපියල් 7000 කි. උපයන මුදල පුංචි අම්මා ලබා ගත් අතර දිනපතාම සේවයට යැමට පෙර මරීනා මුළුතැන්ගෙයි ඉවුම් පිහුම් කටයුතුවලට පුංචි අම්මාට උදව් වූවාය.
අඩු වැටුපක් ලැබීම නිසා තෘප්තිමත්ව සිය රැකියාව කර ගෙන යැමට අසීරු තත්ත්වයක පසුවූ මරීනා මේ සම්බන්ධයෙන් දිනක් එම ඇඟළුම් කම්හලෙහිම සේවය කරනු ලබන තම මිතුරියකට පැවසුවාය.
තම පවුලෙහි විස්‌තර මරීනා තම මිතුරියට පැවැසූ අතර එම තොරතුරු සාවධානව අසා සිටි ඇයගේ මිතුරිය වැඩි මුදලක් උපයාගත හැකි රැකියාවකට යැමට කැමැතිදැයි මරීනාගෙන් විමසා සිටියාය. වැඩි වැටුපක් සහිත රැකියාවකට යැමට කැමැති වූ මරීනා පුංචි අම්මාට ද හොරෙන් නිවසින් පැන ගොස් මිතුරිය කී ස්‌ථානයට ගියාය.
තම මිතුරිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මරීනා ඇය හා ගියේ දකුණු පළාතේම පිහිටි එක්‌තරා විශාල නිවසක් වෙතයි. එම නිවසෙහි වියපත් යුවළක් සිටි අතර මරිනාටද එහි නවාතැන් ලැබිණි. එහෙත් එම නිවෙසට යන තෙක්‌ම ඇයට ලැබෙන්නට යන රැකියාව කුමක්‌දැයි ඇය දැන නොසිටියාය.
එහෙත් අදාළ නිවසට ගිය දින රැයෙහි ඇයට දැකගත හැකිවූයේ නිවසෙහි තරුණියන් කිහිප දෙනකු සිටින බවත් වරින් වර එම තරුණියන් නිවසට පැමිණෙන පිරිමින් සමඟින් එක් කාමරයකට යන අයුරුය. මේ පිළිබඳව තම මිතුරියගෙන් විමසූවිට ඇය මරීනාට ලැබෙන්නට යන රැකියාව පිළිබඳ විස්‌තර කළාය.
එය අසා මරීනා පුදුමයටත්, ශෝකයටත් පත් වූවාය. තමාට වැඩි මුදලක් උපයාගත හැකි රැකියාවක් ලබා දෙන ලෙස පවසා මිතුරිය විසින් තමාව රැගෙන ගොස් ඇත්තේ ගණිකා මඩමකට බව ඇයට වැටහුණාය. මරීනා එවැනි රැකියාවකට යොමුවීම තරයේ ප්‍රතික්‌ෂේප කළ අතර පසුව මිතුරියගේ දැඩි බලකිරීම හා වැඩි ආදායමක් උපයා ගත හැකිව තිබීම යන කරුණු මත අකමැත්තෙන් වුවද ලිංගික ශ්‍රමය අලෙවි කිරීමට මරීනා එකඟ විය.
එම නිවසේ දී මාස කිහිපයක්‌ම ලිංගික ශ්‍රමිකයෙකු වශයෙන් ගැනුම්කාර පිරිමින්හට ලිංගික ශ්‍රමය අලෙවි කළ මරීනා හට එක් ගැනුම්කරුවකු වෙනුවෙන් 1500 - 2000 අතර මුදලක් ලැබිණි. එම නිවසේ දී සතියේ සඳුදා සිට සිකුරාදා දක්‌වා ගැනුම්කරුවන් පස්‌දෙනකුට ලිංගික ශ්‍රමය අලෙවි කිරීමට තමාට සිදුවූ බව මරීනා කීවාය.
මාස කිහිපයක් ලිංගික ශ්‍රමිකයෙක් වශයෙන් කටයුතු කළ මරීනා පසුව එම නිවසේ රැඳි නොසිට නැවත කොළඹ යැමට තීරණය කළේ මැදපෙරදිග ගොස් සිටි තම මව රැකියාවේ ප්‍රශ්නයක් මත නැවත නිවසට පැමිණ සිටීම හේතුවෙනි.
ඒ අනුව ඇය කොළඹ පැමිණි අතර දන්නා හඳුනන අයෙකුගේ මාර්ගයෙන් ලිංගික ශ්‍රමිකයන්ගේ සුබ සාධනය වෙනුවෙන් කටයුතු කරනු ලබන එක්‌තරා රාජ්‍ය නොවන සංවිධානයක සේවයට බැඳීමට ඇයට අවස්‌ථාව ලැබිණි.
ඇයට එහිදී පැවරුණු රාජකාරියවූයේ එහි පැමිණෙන ලිංගික ශ්‍රමික කාන්තාවන්හට කොන්ඩම් භාවිතය පිළිබඳ උපදෙස් ලබාදීමයි. මෙහිදි ඇයට බොහෝ දිනවල රාජකාරී කටයුතු සඳහා කොළඹ හා ඒ අවට ප්‍රදේශවල සංචාරය කිරීමට සිදුවිය.
කෙසේ හෝ පිටකොටුව වැනි ප්‍රදේශවල සිටින ලිංගික ශ්‍රමිකයන්ට කොන්ඩම් භාවිතය පිළිබඳ උපදෙස් ලබා දීමට යන අතර තුර එම ලිංගික ශ්‍රමිකයන් හරහා ගැනුම්කරුවන් හඳුනාගෙන ඔවුනට ලිංගික ශ්‍රමය අලෙවි කිරීමට මරීනා පෙළඹිණි.
නැවත ලිංගික ශ්‍රමය අලෙවි කිරීමට පෙළඹීමට හේතු වූයේ තම ආර්ථික ප්‍රශ්න බව ඇය කීවාය. මේ අනුව ඇය සතියකට ගැනුම්කරුවන් කිහිප දෙනකුටම ඔවුන් විසින් දන්වනු ලබන ස්‌ථාන වෙත ගොස් ලිංගික ශ්‍රමය අලෙවි කිරීමට කටයුතු කරන බව මරීනා කීවාය.
ඇයට, දැනට සේවය කරනු ලබන රාජ්‍ය නොවන සංවිධානයෙන් මසකට හිමි වනුයේ රුපියල්. 6000 ක පමණ මුදලක් බවත් එය ජීවත් වීමට ප්‍රමාණවත් නොවීම නිසා තවමත් ලිංගික ශ්‍රමය අලෙවි කරන බවත් ඇය සඳහන් කළාය.
දැනට කොළඹ පිහිටි තම නිවසෙහි මව, පියා හා සහෝදරයා හා වාසය කරන මරීනා ලිංගික ශ්‍රමිකයෙකු ලෙස කටයුතු කරන බව තවමත් ඇයගේ දෙමව්පියන් හෝ සහෝදර සහෝදරියන් නොදනී. තම පුංචි අම්මාගේ නිවසෙහි රැඳී සිටි අවස්‌ථාවේදී ද තමා පාසල් ගිය බව හා අනතුරුව ඇඟළුම් කම්හලක රැකියාවට ගිය බව පුංචි අම්මා විසින් මරීනාගේ මවට ප්‍රකාශ කර ඇත.
තමා දැනට සේවය කරන රාජ්‍ය නොවන සන්ධානය හරහා ලැබෙන මුදලින් පවුලෙහි ණය බර අඩු කිරිම සඳහා පියාට උදව් කිරීමට කටයුතු කරන බවත් එම මුදල ඒ සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොමැති බවත් මරීනා කීවාය.
තමාට ස්‌ථිර ආදායමක් සහිත රැකියාවක් ලැබෙන්නේ නම් ලිංගික ශ්‍රමය අලෙවි කිරීම නතර කිරීමට තමා සුදානම් බව පවසන මරීනා අවසන් වශයෙන් කියා සිටියේ දෙමව්පියන් තම දරුවන් පාසල් ගිය පසු හැසිරෙන ආකාරය ගැන විමසිලිමත්ව සිටිය යුතු බවත් දරුවන්ද තමන් ආශ්‍රය කරන යහළුවන් කී පමණින් යම් යම් ස්‌ථානවලට යැමෙන් වැළකී සිටිය යුතු බවයි.
තමාට අත් වු ඉරණම වෙනත් කිසිදු තරුණියකට අත්වනු දැකීමට තමා අකමැති බවද ඇය කියා සිටියේ හැඟීම්බරවය.
Out Of Topic Show Konversi KodeHide Konversi Kode Show EmoticonHide Emoticon